කොලොම්පුර හිට ඇවිත් බැස්සොත් දවටගහ ලඟ හන්දියෙ
ටිකක් දුර තව එන්න ඕනෑ මතකයිද පොඩි සන්දියෙ
බයිසිකලයෙ තියන් ගිය හැටි උන්නෙ හෝඩියෙ පන්තියේ
බෝක්කුව ලඟ අඩිපාරෙ යං ගේ ඇත්තෙ තනි නොතනියේ
අවුරුද්දකුත් වෙන්න ආවා අම්මා පොලොවට පස්වෙලා
එදා ඉදලම නෑ පුතෙ ගෙයි හරියකට ලිප රත්වෙලා
මගෙ දොස්තර පුතා එනකම් කියලා දවසක් හිනැහිලා
මාසෙ ගානෙම පොලොස් ඇඹුලක් උන්දෑ ආයෙම විසිකලා
රැයන් තිස්සේ කෙඳිරි ගාගෙන නිදි නැතුව ඔහෙ කහිද්දි
හන්දියෙ ඩිස්පෙන්සරියෙ දොස්තර ලඟත් වරුනෙම කියද්දි
ආව කඳුළුත් හැඟුවා මං අම්මා උඹ ගැන නැහෙද්දි
නොකියාම මං ඉඩම තිව්වා බේත් තුංඩුව දකිද්දී
බැරිම තැන මං පුතේ ලිව්වෙ එදා උඹලට ලියමනක්
හිතුවෙ නෑ මට ඒවි කියලා ඔහෙන් ඒකට පිලිතුරක්
පේලියයි මං කියෙව්වෙ බං එදා මැරුණා සියවරක්
අකුරු බැරි එක උඹේ අම්මට ඇත්තමයි දැන් සැනසුමක්
පෝය කීයද ගෙවුනෙ දන්නෑ ගෙය ඉඩම සින්නම වෙලා
මුදලාලි මහ රෑක ඇවිදින් උඹෙ අප්පා පිටමං කලා
සොහොන ගාවින් අම්මගෙ දාඩිය සුවඳ හිත හිරකලා
කනත්තෙම මහ ගහක් පල්ලෙම මගෙ බර නිදහස් කලා